Thursday, January 6, 2022

අධ්‍යාපන චාරිකාවක්


අධ්‍යාපන චාරිකාවක්

 

අනුරාධපුර රාජධානිය - අධ්‍යාපන චාරිකාවට

පාසලේ ළමයින් කැටුව ගිය - ගුරුතුමී ගේ මූණ රතු කළ

දියණියකි ඈ නළල අඩ සඳ

නිහඬවම හිඳ දකී විනිවිද

 

රුවන්මැලි මහ සෑය අද්දර - හොරණෑව හඬ නගා කිව් නම

විමසද්දි දුටු ගැමුණු රජ ගැන - ගුරුතුමිය කියනවා ඇහුනා

‘නිර්මාණි පව් පුරව ගන්නද

අහන්නේ ඔය වගේ ප්‍රශ්නම’

 

පුදුම වී නිර්මාණි ඇහුවා - ටීචර් බුදු දහමට කියා දුන් 

පස් පවම මට හොඳට මතකයි - මුසාවාද ද මන් ඇහැව්වේ

මන් ඇහුවෙ දුටු ගැමුණු රජු ගැන   

ඇදපු කරගැහු ගල් ගඩොල් ගැන 

 

ඉතිහාසෙ දැන් උගන්නන් නෑ - නිර්මාණි ලොකු පංතියේදී

ඉගන ගත්තැකි ඕව ඔක්කොම - දැන් වඳින්නකො යන් පරක්කුයි

බලන්නකො මේ විහාරේ උස

සිරිමහා බෝධියත් අර ළඟ 

 

ළමයි දුව දුව වැලි මළුවෙ සිරි

බලද්දී නිර්මාණි ගේ නෙත්

රන්වැටේ ගැටෙමින් තිබූයුරු

ටීචර් දැක්කා ඈත ඉඳගෙන

 

සිරි මහා බෝධිය වඳිද්දී - ටීචර් නිර්මාණිගෙ ළඟින් හිඳ

සෙමෙන් කිව්වා කණට ලංවී - ‘සාධු ඉන්නව කතා නොකරන්’

උඩට යන්නට බැරිද ටීචර්ට

සාධු ගිය පසු නැවත ඇහුවා 

 

බෝමළුව ඇතුලටම අපි යමු

ටීචර්ගෙන් නිර්මාණි ඇහුවා

ඇහිඳගෙන වැලිමළුවෙ ටීචර්  

බෝ කොලේ ලස්සනද ඇහුවා

 

- ඩී අමරසිරි ගුනවර්ධන

Wednesday, July 21, 2021

 

නුග රුක කපා

 

ගඟ ළඟ සුළඟ කදීම

තවම හමයි එලෙසේම 

දිය රැළි සුළි පිටයාම

සිදුවේ නිසසලයේම

පෙරසේ ගස යට සෙවන

දෙන සිසිලස නොලැබීම

සිතට දුකක් ගෙන ඒම - වලකනු කෙලෙස කියන්

 

සුළඟේ සිසිල සිඳීම

ගඟ ළඟ අඳුඅර නොදීම

කොවුල් හඬක් නොඇසීම

කොරවක්කන් නොහැඬීම

දිය බරියන් නොදැකීම

කබරුන් හෙළ හැරයාම

දියකාවුන් නොදැකීම - ඉවසනු කෙලෙස ඉතින්

 

ජෙක ජෙක හඬ නොනැගීම

කිචි බිචි නාද නොදීම

දිය බුං හඬ නොපැලීම

ලේනුන් උලමුන් නේම

හැලි කිඹුලන් හිඟ වීම

සැඳෑ කලට වියලීම

දාහය නැග නැග ඒම - විඳිය හැකිද කෙලෙසින්

 

නුඹ විඳි සුව නොවිඳීම

නුඹ දුටු ලෙස නොදැකීම

නුඹ සිතුසේ නොසිතීම

ගෙනේ සිතට දුකක්

නුඹ ලියු කවි නොකීම

නුඹ ගැයු ගී නොගැයීම

නුඹ වැයු තනු නොවැයීම - ගෙනේ සිතට දුකක්

 

ඩී අමරසිරි ගුනවර්ධන




Monday, July 19, 2021

දුර්ඝාවිය

 දුර්ඝාවිය

යුද්ධයේ කුරිරු වෙඩි උණ්ඩයක් කිරි පොවමින් සිටි මව් බිලිගත් මොහොතක දුර්ඝාවිය නොදන්නා පියෙකු අත තනිවිය..එම මානුෂික දයානුකම්පිත මිනිසා ඇය හදා වඩා ගනී!

 

කාල වර්ණ ඇහි බැම හැර

කිරි දත් පෙන්නා හිනැහෙන

සරමෙ ඔඩොක්කුවේ දඟලන

සිඟිති දියණියේ

නුඹ නුදුටුව 'වෙඩි උණ්ඩ

පුපුරු ගසයි මහද සදා

පන යන සැණ දුටු එදසුන

අමතකව නොයේ

 

නුඹෙ නිවහන ගිණි ගනිද්දි

කිරි උරමින් නුඹ සිටිද්දි

ගැස්සී නුඹ බිම වැටෙද්දි

දෙතන යකුන් උදුරාගති

සිඟිති දියණියේ දුර්ඝාවියේ

අවිහිංසක කාල  බිළිඳියේ

තල තෙල් සුවඳින් නැහැවෙන

මගෙ ලය මත නැග හිනැහෙන 

අම්මා යැයි මා අමතන

කාල දියණියේ දුර්ඝාවියේ

තවමත් මගෙ මේ කණ ලඟ

දෝංකාර දෙයි හඬ

පුපුරු ගසයි මහද සදා

සිඟිති දියණියේ දුර්ඝාවියේ

 

ගිඩාරම් මලේ සුවඳ මට දැනේ

 

- ඩී අමරසිරි ගුනවර්ධන


Sunday, July 18, 2021

 කන්නංගර - නිදහස් අධ්‍යාපනය

 

ඇසෙනා විටදි හඬ සරසවි දේවිය ගේ

ගැහෙනා සිතක් ඇත ඇය හැදු දරුවනගේ

හැලෙනා ලෙයින් තෙත් වී නෙත් දෙක ඇයගේ

ගලනා කඳුළු පරදයි ගිණි අවි රජු ගේ

 

මව්බිම නැගෙන හඬ විහිදෙයි සතර දිගේ 

කෙම්බිම බලාගිය උහු කැලඹෙයි තෙරපේ

වෙන්වෙනු කෙළෙස රත්වෙයි ලෙය ලොව දසතේ

නංවනු හැකිය සරසවි දේවිය අඹරේ 

 

පිබිදෙන උදෑසන රතු පද වැල් බඳිමින්

විහිදති අසනි වැසි ගිණි අවි බිම දමමින් 

මරු පැරදවියැකි ජන ගංගා පුබුදවමින් 

සරසවි දේවියේ ඔබ සනසමු නිතැතින්

 

නිල් පැහැ ගොයම් කිරි වද්දන ගොවි රජුගේ

කොස් දෙල් අල බතල කන වැදු දරුවන්ගේ

නැණ ගුණ වඩන මග සරසවි දේවියගේ

අහුරන රාජ බල පරදා හී විහිදේ

 

කන්නංගර සුරිඳු සරසවි දෙව් වරම

නිදහස් ලෙසින් දිවයින අතුරා ඉසින

නගරය ගම දෙමළ සිංහළ සැම බසින

පුදනට ඇය ගියේ ඉගිලී සිව් දෙසම 

 

තුන් බල යොදා ගිණි අවි ඔසවා නො-එනු

දිවයින පුරා නැගෙනා ගොස සවන ගනු

දරුවන් ජාති ආගම් යනුවෙන් නොගනු

ලක් මව සැම දරුන් වෙත ඇගෙ පහස දෙනු

 

- ඩී අමරසිරි ගුනවර්දන

Sunday, July 11, 2021

 වේසාලි වත


වේසාලි මහවනේ අඹ තුරක සෙවන යට

අම්බලන් නිවැසියා වච්ච-ගොත්තව හමුව

ඔහු වෙසෙන ගස යටම ඔහු සමග වාඩිගෙන

මාන්නය මුලිනුපුට මුනිතුමා භව නිවුන

 

කෝ කොහිද සොයා යමු සොයා ගමු ඒ නෙළුම

 

නෙළුම් පත මත වැතිරි දිය බිඳක්මැයි ලකුණ

පිරිසිදුයි උජු-සුජූය අනථිමානිය දිලෙය

 

තථාගත, උහුන් තැන තැන කියයි මා සැලෙයි

විශ්වයම දන්නෙහිද සියල්ලම දන්නෙහිද?

නොසඟවා පවසන්න  සියළු දෙය දන්නෙහිද

වේසාලි පුර ඇසෙන ඒ කිමැයි පවසන්න

 

නොදන්නෙමි මා වච්ච මා දන්නෙ නැති බවයි

ලොවේ ඇති හිස් බවයි ඉමක් නැති හිස් බවයි

 

කෝ කොහිද සොයා යමු සොයා ගමු ඒ භවන

 

කපා දා බැඳුණු බැමි නැවත නොබැඳෙන ලෙසට

පෙනෙන ලෙස මා දෑස් වසාගෙන බැඳ දෙනෙත

නොදැනෙන්න ගඳ සුවඳ රස නොරස සුමුදු බව

වසා දා සියළු දොර නැවත නො-ඇරෙන ලෙසට 

වෙසෙමි මා බිම වච්ච කෙළෙස මා දන්නෙමිද

විශ්වයම නුඹ කියන සියළු දේ උහු කියන

දනිමි මා හිස්ය ලොව ශූන්‍යය නො-ඇලේය

 

කෝ කොහිද සොයා යමු සොයා ගමු ඒ පහස

 

තථාගත ඔබ කියන සිතළු නැසු ඒ අරුණ

මගක් වෙද ඒ ගැබට යනු කෙළෙස පවසන්න


Asanka Brendon Ratnayake / Getty Images
                    Asanka Brendon Ratnayake / Getty Images